2026 ලෝක ජනාවාස දිනය සැමරේ...

"අවැසි පමණට සැමට සෙවණත" තේමාන්විතව 40 වන ලෝක ජනාවාස දින ජාතික උත්සවය ඔක්තෝබර් (05) අරලියගහ මන්දිරයේදී අතිසාර්ථකව පැවැත්විණි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිතුමිය , නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මැතිතුමා , නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. ශ්‍රී ලංකාව මෙවර ලෝක ජනාවාස දිනය සමරනු ලැබුවේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය හා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන යන අමාත්‍යාංශයන් මෙන්ම ක්ලීන් ශ්‍රී ලංකා මහ ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි. 

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය ඒ වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් සංවිධානය කර තිබිණි. එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය නියෝජනය කරමින් UN- Habitat මෙරට කලමනාකාරිණිය ලෝක ජනාවාස දින ජාත්‍යන්තර පණිවිඩය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ලෝක ජනාවාස දින ජාතික සැමරුම් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලදී.

මෙම ජාතික උත්සවයේදී නිවාස ආධාරලාභීන්, ඔප්පු හිමිකම්ලාභීන් ඇතුළු අංශ ගණනාවක් යටතේ ප්‍රතිලාභ හිමි පවුල් වෙත මූල්‍යාධාර හා ඔප්පු පිරිනැමීම සිදුකෙරිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් "තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්" නිවස ආධාර වැඩසටහන යටතේ ඉදිි කෙරෙන නිවාස 9700 න් ඉදිකිරීම් කටයුතු අවසන් කළ නව නිවාස පන්දහසක් ප්‍රතිලාභී අයිතියට පත් කිරීමද අද දින සිදුකෙරිණි. ඒ අනුව පන්දහස් වැනි නිවස අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කරන ලදී.

ඊට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කළ තරගවලින් ජයග්‍රහණය කළ දරු දැරියන් වෙත කුසලාන, සහතික හා මුදල් චෙක්පත් පිරිනැමීම ද සිදුකෙරිණි.

පසුගිය 02වැනිදා ආරම්භ කරන ලද ලෝක ජනාවාස සතිය සමාප්තිය සනිටුහන් කෙරුණු මෙම අවස්ථාව සදහා නිවාස, ඉදිකිරීම් හා සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරී මහත්ම මහත්මීන්, 2026 ලෝක ජනාවාස දිනය සංවිධානය කරන ලද

ඉහත රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්,සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු ඉහළ කළමනාකාරීත්වය හා නිලධාරීන්, ප්‍රතිලාභීන්, තරග ජයග්‍රහණය කරන ලද දරු දැරියන්ද සහභාගී වී සිටියහ.

මෙවර ලෝක ජනාවාස දින සැමරුම් උළෙල අවසන් වූයේ මෙරට ජනාවාසකරණය හා නිවාසකරණය පිළිබඳව නවමු කතිකාවතක් ගොඩනගමිනි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.