“සුහදගම” ජනතා අයිතියට පත්කෙරේ...
ඉන්දියානු රජයේ සහ ශ්‍රී ලංකා රජයේ සහයෝගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තලකොලවැව ග්‍රාමයේ ඉදිකළ “සුහදගම” ආදර්ශ නිවාස ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 04 වන දින සුබ මොහොතින් ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මැතිතුමා, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මැතිතුමා සහ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර, සුනිල් රත්නසිරි යන මැතිතුමන්ලාගේ ද සහභාගීත්වයෙනි.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභී පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදිකර ඇති අතර ඉන්දියානු රජයේ මූල්‍යාධාර සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන යොදාගනිමින් ප්‍රජා දායකත්වය ද ලබාගනිමින් ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබීම විශේෂත්වයකි.
ඉන්දියානු ආධාර නිවාස වැඩසටහන මෙරට ක්‍රියාත්මක කරන්නේ නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.
ජලය, විදුලිය හා මාර්ග ඇතුළු සියලුම යටිතල පහසුකම්වලින් ද සමන්විතව ඉදිකර ඇති මෙම ගම්මානය, නිවාස අහිමි පවුල් 24කට තමන්ගේම නිවසක සුරක්ෂිතභාවයත්, අලුත් බලාපොරොත්තුවක් සමඟ ජීවිතය ඉදිරියට ගෙන යාමේ අවස්ථාවත් උදා කර දී තිබේ.
මෙම අවස්ථාවට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්තුමා, මැදිරිගිරිය ප්‍රාදේශීය සභා සභාපති අමල් දිසානායක මහතා, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියහ
No Comments