උතුරු හා නැගෙනහිර නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ඉදිකළ තවත් නිවාස රැසක් විවෘත වෙයි.

2026 වර්ෂයේදී රජයේ ආධාර මත දිවයින පුරා ඉදිකරන ලද නව නිවාස 3,000ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව යාපනය පලාලි ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස 20ක් විවෘත කිරීම නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) දින සිදු කෙරිණි.

එම නිවාස විවෘත කිරීමේ වැඩසටහනේ දී නිවාස කිහිපයකට ගෙට ගෙවිදීම අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර සෙසු ප්‍රතිලාභීන් සඳහා නිවාස සහතිකපත් ප්‍රදානය කිරීමද එහිදී සිදු විය.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරීමේ අංශය මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ රජයේ මූල්‍ය ආධාර මත මෙම නිවාස ඉදිකර ඇත.

මේ අතර අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරමින් 2026 වසර තුළ නව නිවාස 12,000ක් ඉදිකිරීමට රජය පියවර ගෙන ඇති අතර ඉන් වැඩ අවසන් කළ නිවාස 3,000ක් නොවැම්බර් 23 වනදා සිට 27 වනදා දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ජනතා අයිතියට පත් කරනු ලබයි.

මෙම වසරේ ඉදිකිරීමට සැලසුම් කළ සෙසු සියලුම නිවාසවල ඉදිකිරීම් කටයුතු එළඹෙන දෙසැම්බර් 31 වන දිනට පෙර අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රතිලාභී ජනතාව ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.