රට පුරා නිවාස 3000කට ගෙට ගෙවදීමේ සතිය ආරම්භ වෙයි..!

2026 රජයේ ආධාර මගින් ඉදිකරන ලද නව නිවාස 3,000ක් නොවැම්බර් 23 සිට 27 දක්වා දිවයින පුරා ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහන අද (23) ආරම්භ කෙරුණු අතර ඊට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිකළ නිවාස විවෘත කිරීම උත්සවාකාරයෙන් සිදු කෙරිණි.

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන "තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්" නිවාස ආධාර වැඩසටහන යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාර මත සහ ප්‍රදේශවාසීන්ගේ ශ්‍රම දායකත්වය ද ඇතිව මෙම නිවාස ඉදිකර තිබේ.

මේ යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹේමඩ පදිංචි එච්.ආර්. කාන්ති මැණිකේ මහත්මිය වෙනුවෙන් ඉදිකළ නව නිවස අද (23) රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. මෙම අවස්ථාවට කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ගුණසිංහ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කොලොන්න කොට්ඨාසයේ තාක්ෂණ නිලධාරී ගමිල මනෝජ් ජයමාන්න මහතා, රාජ්‍ය නිලධාරීන් ඇතුළු මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.

එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුගමුව පදිංචි ඒ. ජිනදාස මහතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක ආධාර මත ඉදිකළ නව නිවස ද අද (23) රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස ගැටලුව විසඳීම අරමුණු කරගනිමින් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් පමණක් 2026 වසර තුළ දිවයින පුරා නිවාස 12,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට පියවර ගෙන ඇති අතර එහි එක් අදියරක් ලෙස නොවැම්බර් 23 සිට 27 දක්වා සතිය තුළ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙලෙස නව නිවාස 3,000ක් ජනතාව වෙත භාර දීම සිදු කෙරේ.

 

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.