2027 වසරේදී නාගරික ජනාවාස ගැටලු විසඳීමට පුළුල් වැඩපිළිවෙළක්.....

කොළඹ නගරය තුළ පවතින නිවාස හිඟය සහ ජනාවාස ගැටලු විසඳීම සඳහා නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒ අනුව, 2027 වසර තුළ කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා නිවාස සංවර්ධන අධිකාරිය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළට අදාළව නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට යෝජිත ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා  (20) කොළඹ නගරයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එහිදී නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සහ දේපළවල වත්මන් තත්ත්වය, ඒවා සංවර්ධනය කිරීමේදී පවතින නීතිමය හා තාක්ෂණික ගැටලු මෙන්ම ප්‍රදේශවාසීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

මෙහිදී දෙමටගොඩ ආරාම පාරේ පිහිටි ජන සෙවණ නිවාස සංකීර්ණයේ පවතින ගැටලු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඒවා කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම, ආරාම පාරේ හැටතුනේ වත්ත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නව මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිත ඉඩම ද නිරීක්ෂණය කෙරිණි.

මීට අමතරව මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර, එම ඉඩමට අදාළ ගැටලු විසඳා ඵලදායී ලෙස සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට තීරණය කර තිබේ.

අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී ජනතාවට දැරිය හැකි මිලකට සියලු පහසුකම් සහිත නවීන මහල් නිවාස ලබාදීම මෙම වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණක් බව ද මෙහිදී අවධාරණය කෙරිණි.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම නිරීක්ෂණ චාරිකාවට නිවාස සංවර්ධන අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.