ලෝක ජනාවාස දිනයට සමගාමීව මාතලේ, විල්ගමුව නව නිවාස 06ක් ජනතා අයිතියට.....
ලෝක ජනාවාස දිනයට සමගාමීව නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නව නිවාස 06ක් ප්‍රතිලාභීන් වෙත පිරිනැමීම ඊයේ (03) දින සිදුකෙරිණි.
තුන්හිරියාවැව, කුඹුකන්දන, දේවගිරිය, නාමිණිගම, ලේඩියංගල සහ සුලුගුනේ යන ග්‍රාම නිලධාරී වසම්වල ඉදිකළ මෙම නිවාස මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ලග්ගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දිනේෂ් හේමන්ත පෙරේරා මහතා විසින් ජනතා අයිතියට පත් කරන ලදී.
ඒ අනුව ඒ.ජී. අජිත් ෆොන්සේකා, අයි.ජී. තුෂාර සම්පත් රත්නකුමාර, යූ.ජී. රත්නපාල, ඒ.එම්. සේපාලිකා කුසුම්, ඩී.එම්. බුද්ධිකා සරෝජනී සහ එම්.ජී. විමලදාස යන මහත්ම මහත්මීන්ට නව නිවාස හිමිවිය.
“තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ 2026 වසර තුළ නව නිවාස 9,700ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර යටතේ වැඩ අවසන් කළ නිවාස 5,000ක් ලෝක ජනාවාස දිනයට සමගාමීව ජනතාව වෙත ලබාදීමට කටයුතු කරමින් පවතී.
නිවාස අවශ්‍යතා ඇති ජනතාවට සුරක්ෂිත නිවසක් ලබාදීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක ආධාර මුදලක් ලබාදෙන අතර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණික උපදෙස් හා අධීක්ෂණය යටතේ නිවාස ඉදිකෙරේ.
ජනතාවට තමන්ගේම නිවසක් හිමිකර දීමෙන් ඔබ්බට ගොස්, සුරක්ෂිත හා ගුණාත්මක ජීවන පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වේ.
මෙම අවස්ථාව සඳහා විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති නිශාන්ත ප්‍රදීප් කුමාර, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩී.එස්. බස්නායක, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
No Comments