ලෝක ජනාවාස දිනය – 2026

ලෝක ජනාවාස දිනය – 2026 නිමිත්තෙන් පැවැත්වෙන ජනාවාස සතියට සමගාමීව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කවන්තිස්සපුර නිවාස ව්‍යාපෘතිය සඳහා නළ ජල පහසුකම් ලබාදීමේ වැඩසටහනක් අද (04) දින ආරම්භ කෙරිණි.

ජීවත්වීමට සුදුසු නිවාසයක් යනු බිත්ති හතරක් සහ වහලයකට පමණක් සීමා නොවන අතර, ආරක්ෂිත හා ස්ථාවර නිවාසයක් සමඟ පිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම්, විදුලිය, ප්‍රවාහන පහසුකම්, අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා වෙත ප්‍රවේශය මෙන්ම ජීවත්වීමට සුදුසු පරිසරයක්ද ඊට ඇතුළත් වේ.

මෙම අවශ්‍යතා හඳුනා ගනිමින් ජල සැපයුම නොමැති ගම්මාන සහ නිවාස ව්‍යාපෘති සඳහා ජල පහසුකම් ලබාදීමේ අරමුණින් “ජන දිය සම්පත පානීය ජල පුනරුද” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඒ යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් වැඩ අවසන් කළ නිවාස ව්‍යාපෘති සඳහා නළ ජල පහසුකම් ලබාදීම සහ අවශ්‍ය ස්ථානවල නළ ළිං සකස් කරදීම අපේක්ෂා කෙරේ.

2015–2019 කාලසීමාව තුළ ආරම්භ කර අතරමඟ නතර කර තිබූ සේරුවිල කවන්තිස්සපුර ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ මුලදී වත්මන් රජය යළි ආරම්භ කෙරුණු අතර, එම නිවාස ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නළ ජල පහසුකම් ලබාදීම වෙනුවෙන් මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

සේරුවිල, කවන්තිස්සපුර නිවාස ව්‍යාපෘතිය සඳහා ජල පහසුකම් ලබාදීමේ කටයුතු සෙරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ ප්‍රජා ශක්ති සභාපතිවරයාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරුණු අතර සේරුවිල කොට්ඨාසය භාර තාක්ෂණ නිලධාරී ඒ. එල්. මනෝජ් කුමාර මහතා ඇතුළු නිලධාරීන් ද ඊට එක්ව සිටියහ.

නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.