පාලින්දනුවර නිවාස 17කට මුල්ගල් තැබේ...

කළුතර – පාලින්දනුවර

ඉන්දියානු ආධාර වැඩසටහන යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත නිවාස 05ක් සහ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත ආධාර නිවාස 12ක් සඳහා මුල්ගල් තැබීම පසුගිය 03 වැනිදා සිදු කෙරිණි.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොහොමදි වත්ත ප්‍රදේශයේදී පැවති මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට වැවිලි ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී. හේරත් මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කළමනාකාර අජිත් කුමාරප්පෙරුම මහතා, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් ශාමලි තිලකරත්න මහත්මිය සහ අගලවත්ත වැවිලි සමාගමේ අධ්‍යක්ෂ මනෝජ් උඩුගම්පල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ. එමෙන්ම පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් සහ ප්‍රදේශවාසීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර, “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” ආධාර වැඩසටහන යටතේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිවාස ඉදිකිරීම සඳහා තෝරාගත් ප්‍රතිලාභී පවුල් 15ක් වෙත චෙක්පත් ප්‍රදානය කිරීම ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරිණි.

මෙම නිවාස ව්‍යාපෘති මගින් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුල් සඳහා තමන්ගේම නිවසක් හිමිකර ගැනීමේ අවස්ථාව උදාකර දීමට අපේක්ෂා කෙරේ.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.