“යතිවර මාපිය නිවහන..”
බුද්ධ ශාසනය වෙනුවෙන් සිය දරුවන් පැවිදි කර, ආර්ථික වශයෙන් දුෂ්කරතාවලට මුහුණ දෙමින් නිවාස අහිමිව හෝ සුදුසු නිවාසයක් නොමැතිව සිටින දෙමාපියන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද (19) ආරම්භ කෙරිණි.
එහි කොළඹ දිස්ත්‍රික්කයේ පළමු නිවස සඳහා මුල්ගල තැබීම කඩුවෙල, කොරතොට, ගල්වරුසාව ප්‍රදේශයේදී සිදුකෙරිණි. එම නිවස ඉදිකෙරෙන්නේ අතුරුගිරිය සුදස්සි පොඩි හාමුදුරුවන්ගේ මෑණියන් වන ඕ.ජී. අනෝමා ඩැනියල් ලියනගේ මහත්මිය වෙනුවෙනි.
ජාතික භික්ෂු පෙරමුණේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.
නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක “තමන්ගෙම තැනක් – ලස්සන ජීවිතයක්” වැඩසටහනට අනුබද්ධව “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන යටතේ එක් ප්‍රතිලාභියෙකුට නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 15ක මූල්‍ය ආධාරයක් ලබා දෙන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය මගින් ලබාදෙයි.
පැවිදි සාමණේර හිමිවරුන්ගේ හඳුනාගත් දෙමාපියන් අතරින් ප්‍රමාණවත් ආදායමක් නොමැති, නිවසක් නොමැති හෝ ජීවත්වීමට සුදුසු නිවාස පහසුකම් නොමැති පුද්ගලයන් මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් ලෙස තෝරා ගැනීමට නියමිතය.
නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාවට කඩුවෙල මහනගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ.
No Comments