ඉන්දියානු ආධාර මත ඉදිකෙරුණු තවත් ආදර්ශ ගම්මානයක් ඊයේ (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.
ඉන්දියානු ආධාර මත ඉදිකෙරුණු තවත් ආදර්ශ ගම්මානයක් ඊයේ (04) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. මොණරාගල දිස්ත්‍රීක්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදි කළ මෙම ගම්මානය තිත්ත්වැල්කිවුල ඉන්දියානු ආදර්ශ ගම්මානයයි. මෙම ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඊ.එම්.පී.බී අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
මෙම ගම්මානය හෙක්ටයාර 1.1206 (අක්කර 02) ක භූමි භාගයක ඉදිකොට ඇති අතර නිවාසය සමග එක් අයෙකුට පර්චස් 15 කට නොඅඩු ඉඩමක් ලබා දී තිබේ. ගම්මානය තුළ ඉදිකොට ඇති නිවාස සංඛ්‍යාව 24 කි. ජලය විදුලිය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් සමන්විත මෙම ගම්මානය සඳහා වැය කොට ඇති මුදල 44,494,678.00 කි. ප්‍රතිලාභීන්ගේ දායකත්වය ද මෙම ගම්මානයේ ඉදිකිරීමේදී ලබාදී තිබේ. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාවේ දායකත්වය ද ලබා දී තිබේ. මෙම ගම්මානය ඉදි කිරීම් සම්බන්ධීකරණය කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගිනි.
ඉන්දියානු රජයේ ආධාර යටතේ එක් පවුලකට ලක්ෂ 05 බැගින් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂය බැගින් ද ප්‍රතිපාදන ලබා දී තිබේ. යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා විදුලිබල මණ්ඩලය 800,000 ක වියදමක් සහ සිසිල ජල ව්‍යාපෘතිය මගින් 4,071,328 ක වියදමක් දරා ඇත.
මෙම අවස්ථාව සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම් රණතුංග මහතා හා සාමාන්‍යාධිකාරි ඉංජිනේරු කේ.ඒ ජානක මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් සහභාගී වූහ.
No Comments