ලෝක ජනාවාස දිනය අදයි (07). ඒ නිමිත්තෙන් පැවැත්වූ ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අද (07) දින ..

ලෝක ජනාවාස දිනය අදයි (07). ඒ නිමිත්තෙන් පැවැත්වූ ලෝක ජනාවාස දින සැමරුම් උත්සවය අද (07) දින ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී.අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවැනි අදියරේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

ලෝක ජනාවාස දිනය සෑම වසරකම ඔක්තෝබර් මස පළමු සඳුදා දිනට යෙදී තිබෙන අතර මෙවර එහි තේමාව වනුයේ “තුරුණු ජවයෙන් සපිරි නගරයක්”යන්නයි. මෙවර සමරනු ලබන්නෙි 38 වැනි ජනාවාස වසරයි.

ලෝක ජනාවාස දිනය ලොව පුරා ක්‍රියාවට නංවන එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ (UN-Habitat) ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයයි.

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය එක්ව මෙවර ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා.

මෙම සැමරුම් උත්සවයේදී එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ මහ ලේකම්වරයාගේ පණිවිඩය ඉදිරිපත් කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහනේ ශ්‍රී ලංකා වැඩසටහන් කළමනාකරු හර්ෂනි හලංගොඩ මෙනවිය විසිනි.

මෙහිදී නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ ළමා සිතුවම් තරඟ, ළමා නර්ථන තරඟ, ළමා කෙටි චිත්‍රපටි තරඟ, අන්තර් ජනාවාස සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟ ජයග්‍රහනය කළ ජයග්‍රහකයින්ට සහතික පත් හා කුසලාන ප්‍රධානය කෙරුණා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ ළමා සිතුවම් තරඟ හා රචනා තරගයෙන් ජයග්‍රහණය කළ ජයග්‍රහකයින්ට සහතික පත් හා කුසලාන ප්‍රධානය කෙරුණා.

ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් අද සිට 13 වැනිදා දක්වා ජනාවාස සතියක් නම් කර ඇත.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී කේ.ඒ.ජානක, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් යන මහත්වරු ඇතුළු නිලධාරින්, දෙමාපියන් පිරිසක් සහභාගී වූණා.

No Comments

Leave a comment

Error! There was an error sending your message.
Thank you! Your comment will be published after review by admin.